අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

අම්බලන්තොට, රිදියගම වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කර යථා තත්වයට පත් කිරීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදි.

අම්බලන්තොට පිහිටි රිදීයගම වැවෙහි ඇති සොරොව් දෙකෙන් එක් සෙරොව්වක ඇතිවු දෝශයක් හේතුවෙන් එම සොරොව්ව විවෘත කිරීමට නොහැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම්දීමක් සිදු කරන ලදි. ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ගේ මගපෙන්වීම යටතේ දකුණු නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත 2020 ජුනි මස 29 වන දින විධාන කිමිදුම් අංශයට අයත් නාවිකයින් පිරිසක් රිදියගම වැවේ දෝශයට ලක්ව ඇති සොරොව්ව පිළිසකර කිරීම සඳහා කඩිනමින් පිටත් කර හරින ලදී.

එහිදී දින 02ක් මුලුල්ලේ මහත් පරිශ්‍රමයකින් පසු අද (2020 ජුනි මස 30) කිමිදුම් අංශයේ නාවිකයින්ගේ දැඩි කැපවීම මත අක්‍රිය වී තිබූ සොරොව්ව නැවත පිලිසකර කර යථාතත්වයට පත් කිරීමට සමත් විය.