වලංගු බලපත්‍ර නොමැති ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 30 වන දින තලෙයිමන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු තීරයේදී වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීම සඳහා කටයුතු කරන ලද පුද්ගලයින් දෙදෙනෙක් (02) ඩිංගි යාත්‍රාවක් සමග නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් සහ පරීක්‍ෂා කිරීම් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් 2020 ජුනි 30 වන දින තලෙයිමන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදුතීරයේ සිදු කල පාමුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී අදාල යාත්‍රාව සතුව වලංගු බලපත්‍ර නොමැති බව නිරීක්‍ෂණය වීමෙන් එහි සිටි පුද්ගල‍යින් දෙදෙනෙක් (02) ඩිංගි යාත්‍රාව ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 23 ත් අතර වයසේ පසුවන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.