නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 30 වන දින වනාතවිල්ලුව, ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

2020 ජුනි 30 වන දින නාවික හමුදාව වෙත ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානය සහ වනාතවිල්ලුව පොලිසිය එක්ව වනාතවිල්ලුව, ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදු කරන ලද ‍සෝදිසි කිරීමකදී නිවසක් පරික්‍ෂාවට ලක්කර එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ නීතිවිරෝධී ගිනිඅවියක් (01) , බෝර 12 උණ්ඩ 03 ක් සහ යකඩ බෝල ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම නිවසේ සිටි සැකකරුවෙකු සමග අදාල ගිනි අවිය, උණ්ඩ 03 සහ ග්‍රෑම් 400 ක යකඩබෝල ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 35 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව තහවුරු කරගත් අතර, අදාල සැකකරු සමග ගිනි අවිය , උණ්ඩ 03 සහ යකඩබෝල ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු වනාතවිල්ලුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.