නාවික හමුදා මහ රෝහල සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කරයි

වැලිසර නාවික මහ රෝහල කොවිඩ් - 19 ආසාධිත නාවික රණවිරුවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙස නම් කිරීමත් සමග සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර කිරීම සීමා විය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 වසංගත තත්වය හොඳින් පාලනය කිරීමත් සමග නාවික හමුදා මහ රෝහල් පරිශ්‍රය කොරෝනා රෝගයෙන් තොර කළාපයක් බවට සනාථ කර ඇති බැවින්, රෝහලේ සාමාන්‍ය කටයුතු නැවතත් යථා තත්වයට පත්කර 2020 ජුලි මස 10 වන දින සිට බාහිර රෝගී ප්‍රතිකාර, විශේෂඥ සායනික ප්‍රතිකාර, දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ දන්ත වෛද්‍ය සායන නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්, විශ්‍රාමික නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කාලත්‍රයන් සහ නාවික සිවිල් පුද්ගලයින්ගේ හදිසි ප්‍රතිකාර හැරුණු විට ඊට ප්‍රථම හෝ පෙර දිනයේ උදෑසන 0800 පැයේ සිට 1600 පැය දක්වා ඒ ඒ ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති පහත දුරකථන අංකයන් අමතා තමන්ගේ අවශ්‍යතාවය දක්වා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවශ්‍ය දිනය සහ වේලාව වෙන් කර ගත යුතුව ඇත.

බාහිර රෝගී ප්‍රතිකාර (OPD Treatment) 076 3305033, 076 3305054
විශේෂඥ වෛද්‍ය සායනයන් 076 3305093
දන්ත වෛද්‍ය ප්‍රතිකාර 076 3305064

තවද, දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් බාහිර රෝගී අංශයෙන් සිදු කරණ ප්‍රතිකාර සහ විශේෂඥ සායන සඳහා ලියාපදිංචි වීමේදී පෙර පැවති ක්‍රමවේදයම ක්‍රියාත්මක කරනු ලබන අතර, ඉහත ක්‍රමවේදය හුදෙක් කොරෝනා වසංගතයෙන් ආරක්‍ෂාවීම සඳහා අනවශ්‍ය ගැවසීම අවම කර ගැනීම පිණිස සිදු කරනු ලබන බැවින් කිසිදු විටෙක පූර්ව වේලාව වෙන් කර ගැනීමකින් තොරව ප්‍රතිකාර සඳහා නොපැමිණිය යුතුය.