මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජූලි 01 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්විය.

සාගර පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජූලි මස 01 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී යාත්‍රාවක් අසල සිටි පුද්ගලයෙකු සැක සහිත ලෙස ගොඩබිම දෙසට ගමන් කරන ආකාරය නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව අදාල යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි සඟවා තිබූ මසුන් ඇල්ලීම සඳහා පුපුරවා හැරීමට සකස් කරන ලද චාජර් 03ක් සොයා ගැනීමට හැකි විය. ඊට වෝටර්ජෙල් කූරු 06 ක්, ආරක්‍ෂිත වෙඩි නූල් 03 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 03 ක් යොදා ගෙන ඇති බවටත් තහවුරු කර ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල ඩිංගි යාත්‍රාව, එහි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සහ යාත්‍රාවේ තිබූ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද ඩිංගි යාත්‍රාව, එහි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සහ යාත්‍රාවේ තිබූ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.