මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කෙරේ.

මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් “මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහි ජාත්‍යන්තර දිනයට” සමගාමීව වැඩසටහන් මාලාවන් කිහිපයක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදී.

“මත්ද්‍රව්‍ය වලින් තොර ජාතියක් සෞභාග්‍යමත් රටක්” යන ජාතික තේමාවට අනුකූලව නාවික හමුදා පුද්ගලයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් උතුරු නාවික විධානයේ සහ උතුරු මැද නාවික විධානයේ සියළුම කඳවුරු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සහ උතුරුමැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානයකගේ අධීක්‍ෂණය යටතේ උතුරු මැද නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් විධාන වෛද්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම උපදේශනාත්මක වැඩසටහන් මාළාව මගින් මත්ද්‍රව්‍ය මිනිස් සිරුරට, පවුලට හා සමාජයට බලපාන ආකාරය, මත්ද්‍රව්‍ය උවදුරට ඇබ්බැහි වීමට හේතු සහ මත්ද්‍රව්‍ය උවදුරින් පුද්ගලයින් මුදවා ගැනීම යනාදිය සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සිදු කරන ලදි.

තවද, පවතින කොව්ඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.