නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කල පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුලි 02 වන දින පූනෑව, වෙඩිතිබ්බාගල ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලැබූ ස්ථානයක් වටලා එක් පුද්ගලයෙක් (01) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහා නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි 02 වන දින සිදු කරන ලද පා මුර සංචාරයක් පූනෑව, වෙඩිතිබ්බාගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. මෙම පා මුර සංචාරයේදී එම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලැබූ ස්ථානයක් වටලා එහි සිටි පුද්ගලයෙක් සහ නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගෝඩා ලීටර 30 ක ප්‍රමාණයක්, දේශීය මත්පැන් ලීටර 10 ක ප්‍රමාණයක් සහ එම මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 50ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනා ගත් අතර, අදාල සැකකරු, දේශීය මත්පැන් සහ එම මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ ගෝඩා ප්‍රමාණය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.