උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 ජුලි 03) යාපනය, මන්ඩතිව් දූපත සහ කල්මුනේතුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 400 කට අධික කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික භාරයට ගන්නා ලදි .

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් යාපනය, මන්ඩතිව් දූපත සහ කල්මුනේතුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැක සහිත යාත්‍රාවක් මගින් පාර්සල් කිහිපයක් මුහුදේ දමා පලා යන ආකාරය නිරීක්‍ෂණය කරන ලද අතර, පසුව සිදුකල සෝදිසි කිරීමේදී මුහුදේ පාවෙමින් තිබූ බෑගයන් 12 සොයා ගැනීමට සමත්වීය. අදාල බෑගයන් පරීක්‍ෂා කිරීමේදී එහි කුඩා පාර්සල් 168 ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගන්නා ලදි.

පලා යන ලද යාත්‍රාව සහ සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මේවන විටත් සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින අතර, සිදුවීම සම්බන්ධයෙන් දැනට එක් සැකකරුවකු යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගැනීමට සමත්වන ලදි.

මෙම මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 400කට අධික ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගැනීමට හැකිවී ඇති අතර එහි වීදියේ වටිනාකම මිලියන 60 කට අධික වෙතැයි ගණන් බලා ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය විශේෂ කාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

තවද, මෙම වර්ෂය තුළදී උතුරු ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ 2468 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම් 91 කදී පුද්ගලයින් 141 ක් සමග කේරළ ගංජා ටොන් තුනකට (03) අධික ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රටතුල පවතින කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් මෙම නාවික හමුදා භාරයට ගන්නා ලද සියලු විෂයන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කරන ලදි.