ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සහ කොතලාවල ආර්ක්‍ෂක විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 33 වන සහ 34 වන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරින් 34 දෙනෙකු අධිකාරියට පත් කිරීම 2020 ජුලි 03 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කරන ලදී.

ඒ අනුව කොතලාවල ආර්ක්‍ෂක විද්‍යාපීඨයේ සහ ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 33 තාක්‍ෂණ සහ 34 වන වන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලද අතර, ඔවුන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ප්‍රසන්න මහවිතානගේ ආරාධනය මත ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, නාවික හමුදා මුලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගීවී සිටියහ.

පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. ඒ අනුව, 33 වන බඳවා ගැනීමේ සමස්ත විෂයයන්හි වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය මධ්‍ය නිලධාරි, පීඒ දලුගම නිලධාරියා විසින් හිමිකරගත් අතර සම්මානනීය අසිපත සහ කුසලානය මධ්‍ය නිලධාරී ඩීඑස් කරුණාසේන නිලධාරියා විසින් හිමිකර ගන්නා ලදි. සියළු විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය සහ වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා ලෙස මධ්‍ය නිලධාරී ඩබ්ජීඑස් දීමන්ත නිලධාරියා විසින් හිමි කර ගන්නා ලද අතර, හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී වීඑස් විජේගුණරත්න විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කාන්තා මධ්‍ය නිලධාරි ඩීඑම්පී නදීශානි විසින්ද හිමි කර ගන්නා ලදී.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් වූ අතර, මෙම වැඩසටහන රටතුල පවතින කොවිඩ්- 19 අවධානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.