නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 04 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සහ එල්සබෙත් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයන් අතරතුර නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සහ සහ එල්සබෙත් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයන් අතරතුරදී සැක සහිත ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී වලංගු ධීවර බලපත්‍ර රහිතව මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, ඔවුන් සතුව තිබූ මීටර 225ක දිගින් යුත් මසුන් ඇල්ලීමට යොදා ගන්නා දැලක්, ඩිංගි යාත්‍රා දෙකක් (02), අල්ලන ලද මසුන් කිලෝ 126 ක් සහ එම යාත්‍රාවන් සඳහා යොදා ගත් පිටත දහන යන්ත්‍ර දෙකක් (02) ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගත් අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මසුන් ඇල්ලීමට යොදාගත් දැල, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය සහ කින්නියා සහකාර ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි