නාවික හමුදාව විසින් යාපනය චලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

නාවික හමුදාව විසින් 2020 ජුලි 04 වන දින යාපනය චලෙයි ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සහ අත් බෝම්බ කිහිපයක් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් යාපනය චලෙයි ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මිලි මීටර 120 වර්ගයේ මෝටාර් උණ්ඩයක් (01), මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් (01), මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක් (01), ආර්පීජී බෝම්බ තුනක් (03), අත් බෝම්බ පහක් (05) සහ එල්ටීටී ත්‍රස්ත සංවිධානය මගින් භාවිතා කරන ලද ශරීර උගුලක් යැයි සැක කරන උගුලක් සොයා ගැනීමට සමත් විය.

මෙම බර පුපුරණ ද්‍රව්‍ය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ භාවිතා කරන ලද ඒවා බවට සැක පළ කරන අතර, සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකාය වෙත දැනුම්දෙන ලදි. එසේම මෙම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් එම ස්ථානයේම තැබීමට කටයුතු කරන ලදි.