නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනය ශ්‍රි ලංකා නාවික නෞකා ‘කාවන්තිස්ස’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ශ්‍රී ලංකා නාවික නෞකා ‘කාවන්තිස්ස’ ලෙස අද (2020 ජුලි මස 05) අධිකාරියට පත් කිරීම නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

2010 දෙසැම්බර් 10 වන දින දකුණු නාවික විධානයට අනුයුක්ත උප අනුඛණ්ඩයක් වශයෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය 2018 අප්‍රේල් 04 වන දින සිට නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ලෙසින් පරිපාලන කටයුතු සිදු කරනු ලැබීය. එලෙස පරිපාලන කටයුතු සිදු කරනු ලැබූ නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ආයතනය මේ වන විට ධජ නිලධාරියෙකු ඇතුළුව නිලධාරින් 32 සහ ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ නාවිකයින් 802 කින් සමන්විත වන අතර, අද (2020 ජුලි 05) දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කාවන්තිස්ස’ නමින් අධිකාරියට පත් කරන ලදි. මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු සහ දකුණු නාවික විධානය භාර ආඥාපති ඇතුළු විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් සහභාගී වන ලදි.

ශ්‍රි ලංකා නාවික නෞකා ‘කාවන්තිස්ස’ ආයතනයෙහි මුහුදු බල ප්‍රදේශය කලමැටිය සිට කුඹුක්කන් ඔය දක්වා කිමි 101ක් දුර වෙරල තිරයක විහිදී ඇත. එසේම මෙම ආයතනය මගින් හම්බන්තොට වරායේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ගොඩබිම හා වරාය ආරක්ෂක රාජකාරී සිදු කිරීම, දකුණු නාවික බල ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී ගමන් ගන්නා නාවික සියලුම නෞකා සහ යාත්‍රා නිරික්ෂණය කිරිම සදහා මෙහෙයුම් මැදිරියන් ක්‍රියාත්මක කිරිම, දකුණු නාවික බල ප්‍රදේශයට අයත් මුහුදු තීරයෙහි මුර සංචාර සිදු කරන නාවික නෞකා යාත්‍රා සඳහා ඉන්ධන ජලය ඇතුලු සියලුම පහසුකම් ලබා දීම, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකිරිම සහ හම්බන්තොට අන්තර් ජාතික වරාය සමග සම්බන්ධිකරණ වි කටයුතු කිරිම, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂක රාජකාරි සිදු කිරිම සහ ප්‍රදේශයේ සාමය සහ ආරක්‍ෂාව පවත්වාගැනීමට සහය දැක්වීම වැනි විශේෂිත රාජකාරින් සිදු කරනු ලබයි.

මව් ආයතනයට අනුබද්ධව නාවික අනුඛණඩ කිරිදිඔය, සුරියවැව හා නාවික උප අනුඛණ්ඩ අමදුව යන අනුඛණ්ඩ ස්ථාපිත කර ඇත. නාවික අනුඛණ්ඩ කිරිදිඔය මගින් රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය, නාවික කෘෂි ව්‍යාපපෘතිය, මාලිමා උත්සව ශාලාව හා නාවික මැදුර ඇතුළුව නිලධාරි නිවාඩු නිකේතනය ක්‍රියාත්මක කෙරේ. නාවික අනුඛණ්ඩ සුරියවැව මගින් ශ්‍රිමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය දක්ෂිණ මන්ඩපයට අමතරව සියළුම නාවික ආයතනයන්ගේ හා වැඩසිටි කන්ද, නා සෙවන, සූරිය පොකුණ විහාර භුමි තුල ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන අතර, නාවික උප අනුඛණ්ඩ අමදුව පිහිටි මෙහෙයුම් මැදිරිය මගින් නෞකා සහ යාත්‍රා නිරික්‍ෂණය කර විධාන මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබා දෙනු ලබයි. තවද නාවික උප අනුඛණ්ඩ ගොඩවාය ආයතනය ඉපැරණි ගොඩවාය වරාය අසන්නව පිහිටා ඇති අතර, මාගම්රුහුණු පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අදාල තාක්ෂණික රාජකාරි සිදුකරනු ලබන්නේ ද ශ්‍රි ලංකා නාවික නෞකා ‘කාවන්තිස්ස’ ආයතනය මගිනි .