තහනම් ධීවර දැල් යොදා අල්ලන ලද මසුන් කිලෝ 200 ක ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට.

නාවික හමුදාව විසින් 2020 ජුලි මස පස්වන දින පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයක දී තහනම් දැල් යොදා ගනිමින් අල්ලන ලද මසුන් කිලෝ 200ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

නීති විරෝධී ක්‍රම මගින් මසුන් ඇල්ලීම මගින් සාගර ජීවීන්ට සහ සාගර පරිසර පද්ධතියට සිදුවන විනාශය වළක්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක තවත් එක් මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි මස 5 වන දින පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදි. එහිදී ගොඩබිම සිට මුහුදු සැතපුම් 4.3ක පමණ දුරකදී සැක සහිත යාත්‍රාවන් දෙකක් පරික්ෂා කිරීමේදී අදාළ යාත්‍රාවන්හි තහනම් ධීවර දැල් යොදා ගනිමින් අල්ලන ලද මසුන් කිලෝ 200ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව අදාළ මසුන් තොගය, තහනම් ධීවර දැල් දෙකක් (02), ධීවර යාත්‍රා දෙකක් (02) සහ පුද්ගලයින් 09 දෙනෙකු සමඟ අදාළ යාත්‍රාවන් තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19ත් 53ත් අතර වයසේ පසුවන පුල්මුඩේ ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අදාළ සැකකරුවන්, ධීවර යාත්‍රා, මසුන් තොගය, තහනම් ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදී.