නාවික හමුදා සහයෙන් පාසල් සහ අධ්‍යාපනික ආයතන විෂබීජහරණය කෙරේ

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කුරුණෑගල, නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය සහ මරදාන, ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය විෂබීජහරණය කිරීම සිදු කරන ලදී.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් ඇතුළු අධ්‍යාපනික ආයතනයන් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මත යළි ආරම්භ කිරීමට රජය විසින් කටයුතු කරමින් සිටින අතර, එලෙස ආරම්භ කිරීමට නියමිත පාසල් ඇතුළු අධ්‍යාපනික ආයතන විසබීජහරණය කිරීමට නාවික හමුදාව මේ වන විට ක්‍රියා කරමින් සිටී. ඒ අනුව ක්‍රියාත්මක තවත් එක් විෂබීජහරණ වැඩසටහනක් 2020 ජුලි මස 05 වන දින නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය සහ මරදාන, ශ්‍රී ලංකා තාක්‍ෂණ විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලදී. බටහිර සහ වයඹ නාවික විධානයන්ට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකක මගින් මෙම විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, මෙහිදී අදාල ස්ථානයන්හි සියලුම පන්ති කාමර සහ පොදු ස්ථාන විෂබීජහරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලදී.

කොවිඩ් 19 අවදානම් තත්ත්වයෙන් පාසල් සහ අධ්‍යාපනික ආයතවල දුවාදරුවන් ආරක්‍ෂා කිරීම උදෙසා ඉදිරියේදීද මෙවන් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.