නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 05 වන දින කාකතිව් දූපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව උතුරු මැද නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් කාකතිව් දූපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැක සහිත යාත්‍රාවක් (01) පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහිදී වලංගු ධීවර බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, ඔවුන් සතුව තිබූ මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් 24 ක්, වල්ලම් යාත්‍රාවක් (01), අල්ලන ලද මසුන් කිලෝ 70 ක් සහ එම යාත්‍රාවන් සඳහා යොදා ගත් පිටත දහන යන්ත්‍රයක් (01) ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගත් අතර, එම පුද්ගලයන්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මසුන් ඇල්ලීමට යොදාගත් තහනම් දැල්, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ජයපුරම් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි