නාවික හමුදාව විසින් නින්දවූර් මුහුදු තීරයේදී මිණිමුතු මෝරෙකු බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජුලි 06 වන දින කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කරන ලදි.

ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයේ නාවික පිරිසක් විසින් කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මෙම මෝරා නිරීක්‍ෂණය කර ඇති අතර, ඒ අනුව ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය ගේ උපදෙස් මත ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ එම නාවික පුද්ගලයින් විසින් එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාවේද සහයෝගය ලබා ගනිමින් දැඩි පරිශ්‍රමයක් දරා දිගින් මීටර 3.5ක් පමණ වන මෙම මෝරා ගැඹුරු මුහුදට මුදා හැරීමට කටයුතු කරන ලදි.

මෝර පවුලට අයත් මෙම සත්වයින් සාමාන්‍ය‍යෙන් කිලෝ ග්‍රැම් 9000 ක් පමණ බරින් යුතු හා දිගින් මීටර් 9 පමණ විශාලව වැඩෙන විශාලතම මෝර විශේෂයකි. මොවුන් සාමාන්‍යයෙන් වසර 70- 100 ක් පමණ ජීවත් වන මෝර විශේෂයක් වන අතර, එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මුහුදු සම්මුති නීතියට අනුව (UNCLOS) වෙරළබඩ රාජ්‍යයන් විසින් සංරක්‍ෂණය කල යුතු මෝර විශේෂයන් අතර සිටින මෙම මිණිමුතු මෝරා (Whale shark – Rhincodon typus) ලෝකයේ වඳවී ගෙන යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති බැවින් ශ්‍රී ලංකාවේදී ඇල්ලීම තහනම් කර ඇත.