නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 07 වන දින මන්නාරම, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මුර සංචාර ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ අනුව 2020 ජුලි මස 07 වන දින රාත්‍රියේ උතුරු මැද නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 22 ක්, ඩිංගි යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ කිහිපයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26ත් 60ත් අතර වයස්වල පසුවන වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අදාල සැකකරුවන්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.