අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා නාවික හමුදාව වෙත රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරිත්‍යාගයක්.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙහි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක අරමුදල වෙත Kiwanis Club Of Colombo City සහ The District Grand Lodge Of Sri Lanka ආයතනයන් වෙතින් අද (2020 ජුලි 08) රුපියල් ලක්‍ෂ විසි තුනක (රු 2300,000.00) පරිත්‍යාගයක් සිදු කරන ලදි.

වකුගඩු රෝගයෙන් පීඩා විඳින රෝගීන් ඇතුළු නේවාසික ප්‍රතිකාර ලබන සියළු රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්‍ෂිත පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහල් පරිශ්‍රයෙහි ඉදි කිරීමට නියමිත නව ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා Kiwanis Club Of Colombo City සහ The District Grand Lodge Of Sri Lanka යන ආයතනයන් මගින් මූල්‍ය පරිත්‍යාගයක් ලබා දීම නාවික හමුදා මූලස්ථානයේදී අද (2020 ජුලි 08) සිදු කරන ලදි. මෙහිදී, Kiwanis Club Of Colombo City ආයතනය මගින් රුපියල් 800,000.00 සහ The District Grand Lodge Of Sri Lanka ආයතනය මගින් රුපියල් 1500,000.00ක් වශයෙන් රුපියල් ලක්‍ෂ විසි තුනක් (රු 2300,000.00) වටිනා චෙක්පත් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත ලබා දීම සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා අදාල ආයතන මගින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර රෝහල වෙත ලබා දීමට නියමිත අතර, ඉදිරියටත් මෙවැනි සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා දායක වීමට නාවික හමුදාව අපේක්‍ෂා කරයි.