නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින මුලතිව්, නයාරු ප්‍රදේශයට දකුණු දෙසින් සහ පුදුමාතලන් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ඒ සඳහා භාවිතා කල උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වලක්වාලීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව දිවයින වටා වූ මුහුදු තීරයේ නිරන්තර මුර සංචාර ක්‍රියාත්මක කරමින් සිටී. එලෙස නැගෙනහිර විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ දකුණු මුහුදු තීරයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය. එසේම පුදුමාතලන් වෙරළ තීරයට ආසන්නයේ වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල තවත් මුර සංචාරයකදී හිමිකරුවකු නොමැති තවත් එවැනිම විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් ඇල්ලීම සඳහා භාවිත කර තිබූ ඩිංගි යාත්‍රාවක් අදාල උපකරණ සමඟ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කරන ලද අතර, ධීවර කර්මාන්තයේ නියැලෙන ඉතා සීමිත පුද්ගලයින් පිරිසක් විසින් සිදු කරගෙන යනු ලබන තහනම් දැල් භාවිතය, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු විවිධ නීති විරෝධී පන්න ක්‍රම හේතුවෙන් අප රට වටා ඇති සාගර කලාපයේ සාගර සම්පත විනාශයට ලක්වන අතර, සාගර සම්පත රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සිටි.