නීති විරෝධී දේශීය මත්පැන් තොගයක් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 09 වන දින පුත්තලම නවක්කාඩු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් 2020 ජුලි මස 09 වන දින පුත්තලම නවක්කාඩු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මාර්ගයේ ගමන්ගත් සැකසහිත නවීන පන්නයේ මෝටර් රථයක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී එහි ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී දේශීය මත්පැන් මිලි ලීටර 750 බෝතල් 90ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. පසුව මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයා සමග එම දේශීය මත්පැන් බෝතල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 42ක් වන මාම්පුරි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු, දේශීය මත්පැන් තොගය සහ මෝටර් රථය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදි.