නාවික හමුදාව විසින් ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට

නාවික හමුදාව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට පත් කිරීම 2020 ජුලි මස 09 වන දින සිදු කරන ලදි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදි. මෙහිදී දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල, දෙහිඅත්තකණ්ඩිය දොළකන්ද මහ විද්‍යාලය, ‍ දෙහිඅත්තකණ්ඩිය, ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කදිරපුර සමනලතැන්න ග්‍රාමය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට කටයුතු කරන ලද අතර, මෙම ව්‍යාපෘති මගින් ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යාරක්‍ෂිතව තම දෛනික පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවනු ඇත.

මෙම ව්‍යාපෘතීන් විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා ශ්‍රීලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු පිරිසක් මෙන්ම දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍ය අධිකාරී මහේෂ් දහනායක මහතා, දෙහිඅත්තකණ්ඩිය දොළකන්ද මහ විද්‍යාලයේ විදුහල්පති පීකේ ශාන්ත කුමාර මහතා, ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ අක්කරගම ශ්‍රද්ධාජීව හිමියන්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශීය ලේකම් රුවන් ශ්‍රී හේමකුමාර මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවී සිටින ලදි.

තවද, මරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියටත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.