බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතු සිදු කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිද කල මුර සංචාරයකදී වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු ධීවර යාත්‍රාවක්ද සමඟ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

වලංගු බලපත්‍ර නොමැතිව සහ නීති විරෝධී ක්‍රම මගින් මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවන පුද්ගලයින් නීතියේ රුහැනට හසුකර ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී. ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව මගින් 2020 ජුලි මස 09 වන දින කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී කිමිදුම් උපකරණ භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි ධීවර යාත්‍රාවක පුද්ගලයින් පිරිසක් නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව ඔවුන්ගේ බලපත්‍ර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව කිමිදුම් කටයුතු සිදුකර මසුන් ඇල්ලීම සඳහා වලංගු බලපත්‍ර නොමැති බවටත් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් ලිපිලේඛණ නොමැති බවටත් තහවුරු කර ගැනීමට හැකි විය. පසුව අදාල පුද්ගලයින්, කිමිදුම් උපකරණ, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 23ත් 62ත් අතර වයස්වල පසුවන පුද්ගලයින්, කිමිදුම් උපකරණ, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කල්මුණේ ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.