සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් අද (2020 ජුලි 11) දකුණු නාවික විධානය සහ ගිණිකොන නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

නාවික හමුදාව විසින් වෙරළ තීරයන්හි සුන්දරත්වය පවත්වාගෙන යාමට සක්‍රිය දායකත්වය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන අතර, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදුකරන ලදි. මෙහිදී, දකුණු නාවික විධානය මගින් ගාල්ල කොටුව ආශ්‍රිත වෙරළ තීරය සහ හම්බන්තොට ගොඩවාය වෙරළ තීරයන් ද, ගිණිකොන නාවික විධානය මගින් පානම කළපු ප්‍රදේශයට අයත් වෙරළ තීරයද පිරිසිදු කිරීම සිදු කරන ලදි. දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ සහ ගිණකොන නාවික විධානය භාර ආඥාපති රියර් අදමිරාල් සෙනරත් විජේසූරිය ගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන් සඳහා එම නාවික විධානයන්ට අයත් ආයතනයන්හි නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.

නොසැලකිලිමත් ලෙස අපද්‍රව්‍ය මුහුදට මුදා හරින සීමිත පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් අපවිත්‍ර වන සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව විසින් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.