නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදි කරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) විවෘත කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදා සක්‍රීය සේවයෙහි යෙදි සිටියදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) අද (2020 ජුලි 11) විවෘත කරන ලදි.

මානුෂීය මෙහෙයුම් සමයේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී ආබාධිත තත්ත්වයට පත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත වූ ‘අභිමන්සල’ (The Anchorage) සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 10 වන දින මුල් ගල තබන ලදි. මෙම මධ්‍යස්ථානය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් රුපියල් මිලියන 10 ක මුදලක් වෙන් කරන ලද අතර, නාවික හමුදා සිවිල්ඉංජිනේරු අංශය මගින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 ජුලි 11) විවෘත කරන ලදි. නාවික හමුදා වැලිසර කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානය මහල් දෙකකින් සමන්විත වන අතර, නාන කාමර සහිත සියළු පහසුකම්වලින් සම්පූර්ණ කාමර 08 කින් යුක්ත වේ.

තවද, මෙයට සමගාමීව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ලංකා ’ ආයතන පරිශ්‍රයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහසෙන් ’ ආයතන පරීශ්‍රයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි දෙකක් ද නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ගරු අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිනිය, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානය භාර ආඥාපති ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිස්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් පිරිසක් ද සහභාගි විය.