වෙත්තලකේණි උඩුත්තුරෙයි ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 11 වන දින අළුයම වෙත්තලකේණි, උඩුත්තුරෙයි වෙරළ තීරයේදී කිලෝග්‍රෑම් 52 කට අධික කේරළ ගංජා නමැති ප්‍රබේදයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව, නාවික හමුදාව වෙත ලැබුනු බුද්ධි තොතුරක් මත උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික මුර යාත්‍රා වෙත්තලකේණි, උඩුත්තුරෙයි ඉදිරි මුහුදු ප්‍රදේශයේ විශේෂ මුර සංචාරයක් සිදු කරන ලදි. මෙම මෙහෙයුම අතරතුරදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් උඩුත්තුරෙයි වෙම්බඩි වෙරළ තීරයේ දමා පලා යන ආකාරය නිරීක්‍ෂණය කරන ලද අතර, පසුව සිදුකල සෝදිසි කිරීමේදී යාත්‍රාව තුළ තිබී ගෝනි කවර දෙකක් තුළ පාර්සල් 13 ක අසුරා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගන්නා ලදි. එහිදී අදාල යාත්‍රාව සමග කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 52 ග්‍රෑම් 680 ක් පමණ වන බවත් ඒවාහි වීථී වටිනාකම රුපියල් ලක්‍ෂ 78 කට අධික වන බවටත් ගණන් බලා ඇත.

තවද, සැකකරුවන් සොයා මේ වන විට නාවික හමුදාව සහ යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය විසින් මෙහෙයුම් සිදු කරන ලබයි. එසේම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරන පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙම වර්ෂය තුළ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් තුනකට (03) අධික ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රටතුල පවතින කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් නාවික හමුදා භාරයට ගන්නා ලද සියලු විෂයන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කරන ලදි.