නීති විරෝධී සංක්‍රමනිකයින් රැගත් ඩිංගි යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් (04) සමග ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

උතුරු නාවික විධානයට අනුයුක්ත මුර යාත්‍රාවක් මගින් යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට මුහුදු සැතපුම් 11 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔවුන් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමනය වීමට උත්සහ දරා ඇති බවත් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට පේදුරුතුඩුව ප්‍රදේශ‍යේ පදිංචි අනෙක් පුද්ගලයින් දෙදෙනා ඩිංගි යාත්‍රාවක් මගින් 2020 ජුලි 10 වන දින පේදුරුතුඩුව ප්‍රදේශයේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකරමින් ඉන්දියාව දෙසට ගමන් කර සංක්‍රමනිකයින් යාත්‍රාව වෙත නංවාගෙන ඇති බවත් අනාවරණය විය.

තවද, ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කරන ලද පුද්ගලයින් දෙදෙනා වැල්වැටිතුරෙයි සහ මුලතිව් යන ප්‍රදේශයන් හි පදිංචි ව සිටි ශ්‍රී ලාංකිකයින් වන අතර, එක් පුද්ගලයෙක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක්ව සිට ඇති බවට වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. එමෙන්ම එම පුද්ගලයා ස්වසන අපහසුතාවයකින් සහ පපුවෙහි ඇති වූ වේදනා තත්වයක් හේතුවෙන් යාපනය ශික්‍ෂන රෝහල වෙත පොලිස් ආරක්‍ෂාව යටතේ ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා අද (2020 ජුලි 12) දින එම පුද්ගලයා පීසීආර් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය. එසේම ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයට යම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු බවට සැක පල කරනු ලබයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 52 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවට අනාවරණය කර ගන්නා ලදි. මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන තෙක් අනෙක් පුද්ගලයින් තිදෙනා (03) සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් වූ ස්ථානයක ආරක්‍ෂිතව, හුදකලාව රඳවා තැබීමට කටයුතු කර ඇති අතර, එම පුද්ගලයින්ද පීසිආර් පරික්‍ෂනය සඳහා යොමු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රටතුල පවතින කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් මෙම නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සහ යාත්‍රාව පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කරන ලදි.