නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 11 වන දින ත්‍රිකුණාමලය, එලිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි 11 වන දින ත්‍රිකුණාමලය, එලිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රා කිහිපයක් නිරීක්‍ෂණය කරන ලදි. ඒ අනුව සිදු කළ පරීක්‍ෂාවේදී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා තුන (03), තහනම් දැල් දෙකක් (02) සහ එම ධීවර යාත්‍රාවන් තුල තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 39 ත් අතර වයසේ පසුවන කින්නියා සහ චීන වරාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.