නාවික හමුදාව විසින් ඉදිකරන ලද 752 වන ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදාව දිඹුලාගල, කැකුළුවෙල ප්‍රදේශයේ ඉදිකල 752 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2020 ජුලි 13 වන දින සිදු කරන ලදි.

දිඹුලාගල ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදි. මෙහිදී කැකුළුවෙල ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට කටයුතු කරන ලද අතර, නාවික අණභාර නිලධාරී ත්‍රිකුණාමලය දකුණ කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම විසින් විවෘත කරන ලද මෙම අවස්ථාව සඳහා වෙහෙරගල මහවැලි කොට්ඨාස කළමණාකරු, කැකුළුවෙල විහාරස්ථානයේ විහාරාධිපති, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් ඇතුළු ප්‍රදේශ වාසීන් රැසක් සහභාගී විය. මෙම ව්‍යාපෘති මගින් කැකුළුවෙල, කනිච්චගල සහ මල්දෙනිය යන ග්‍රාමයන්හි පවුල් 1575 ක පමණ ජනතාවට සෞඛ්‍යාරක්‍ෂිතව තම දෛනික පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ඇත.

තවද, මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියටත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.