මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 13 වන දින තලෙයිමන්නාරම, නාරාපාඩු සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම තුලින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සුන්දර කොරල්පර පද්ධතිය ඇතුළු සාගර සම්පත දැඩි ලෙස විනාශවීමේ තර්ජනයට ලක් වන අතර, එය මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව තලෙයිමන්නාරම, නාරාපාඩු ප්‍රදේශයේ හදිසි මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී සැක කටයුතු නිවසක් පරීක්‍ෂා කිරීමේදී එහි පොලොව යට සඟවා තිබූ වොටර්ජෙල් කූරු 11 ක් සමග නිවසේ සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔහුගෙන් ලද තොරතුරකට අනුව පුදුකුඩුඉරිප්පු පුදේශයේ නිවසක සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් 10 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 39 ක් සහ 45 ක් වන ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගත් අතර, අදාල සැකකරුවන් සහ සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි විමර්ෂන කටයුතු මන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.