නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුලි 15 වන දින ත්‍රිකුණාමලය, වලල්තොට්ටම් මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 ක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන මසුන් ඇල්ලීමේ ජාවාරම් මර්ධනය මගින් සාගර පරිසරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ අනුව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුමක් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි 15 වන දින ත්‍රිකුණාමලය, වලල්තොට්ටම් මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී සැක කටයුතු ධීවර යාත්‍රා කිහිපයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) ඇතුළු ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 56 ත් අතර වයසේ පසුවන කදිරවේලි සහ කින්නියා යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවට හදුනාගත් අතර, එම පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදි.