කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 කට අධික තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 16 වන දින යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ උතුරු නාවික ප්‍රදේශය භාර ආඥාපතිගේ අධීක්‍ෂණය යටතේ උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් යාපනය, මන්ඩතිව් දකුණු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය පරීක්‍ෂා කිරීමේදී ගෝනි මලුවල කුඩා පාර්සල් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 164 කට අධික තොගයක් සොයා ගන්නා ලද අතර, එහිදි එම කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් යාපනය, ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගත් අතර, එම සැකකරුවන්, මත්ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ පසුගිය මාස හත තුළදී පමණක් සිදු කරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 3376 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.

මෙම මෙහෙයුම් වලදී නාවික හමුදාව විසින් කොවිඩ් - 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නාවික හමුදා භාරයට ගන්නා ලද සියලු විෂයන් සහ සැකකරුවන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් කටයුතු කරන ලදි.