නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සහ නීති විරෝධී ලෙස ලග තබා ගත් ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 08 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජූලි 16 වන දින අම්බලන්තොට සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි ලෙස ලඟ තබා ගත් ඖෂධ පෙති සමග සැකකරුවන් අට දෙනෙකු (08) අත්අඩංගුවට ගන්නා ලදි.

නාවික හමුදාව, මත් උවදුරින් පාසල් දුවා දරුවන්, තරුණ පරපුර ඇතුළු මහජනතාවට සිදු වන හානිය වැළැක්වීමේ ජාතික මෙහෙවරට දායක වෙමින් නීති විරෝධී මත් ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව අම්බලන්තොට, වලේවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුලි 16 වන දින සිදු කරන ලද මෙහෙයුමකදී සැක කටයුතු නිවසක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.09 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගන්නා ලදි. තවද නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ කුච්චවේලි පොලිසිය‍ එක්ව එදිනම කුච්චවේලි, ඉරණකේණි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ මෙහෙයුමකදී මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු යතුරුපැදියක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී නීති විරෝධී ලෙස ප්‍රීගැබලින් (Pregabalin) වර්ගයේ වේදනා නාශක ඖෂධ පෙති 1250 ක් සොයා ගන්නා ලද අතර, එම ඖෂධ තොගය සමග යතුරුපැදියේ ගමන්ගත් සැකකරු යතුරුපැදියද සමග අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 16 ත් 44 ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට සහ පුල්මුඩේ යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් ප්‍රමාණය සහ සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අම්බලන්තොට පොලිසියටත් අත්අඩංගුවට ගත් ඖෂධ පෙති තොගය, සැකකරු සහ යතුරුපැදිය කුච්චවේලී පොලිසිය වෙතත් භාර දීමට කටයුතු කරන ලදි.