කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) 2020 ජුලි 17 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

කඩොලාන ශාක සාගරික පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීම සඳහා අත්‍යාවශ්‍ය බැවින් කඩොලාන පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම, වන්කාලේ ප්‍රදේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 29, 41 සහ 51 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව අනාවරණය කරගන්නා ලද අතර, එම පුද්ගලයින් සහ කපා තිබූ කඩොලාන ශාක, සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මඩු, වන ජීවී නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

වෙරළ ඛාදනය වැලැක්වීම සඳහා බෙහෙවින් උපකාරිවන මෙම කඩොලාන ශාක පද්ධතිය විනාශ කිරීම සඳහා ඉතා සුළු පිරිසක් කටයුතු කරනු ලබන අතර, එවැනි විනාශකාරි ක්‍රියාවන් වැලැක්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම නාවික හමුදාව විසින් කඩොලාන පැල සිටුවිමේ ව්‍යාපෘති රැසක් දිවයිනේ කලපු හා කඩොලාන පරිසර පද්ධතීන් ඇති ප්‍රදේශයන්හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, එමගින් වෙරළ ඛාදනය වලක්වා සංරක්‍ෂණය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කරයි.