සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජුලි 18 සහ 19 උතුරු නාවික විධානය සහ දකුණු නාවික විධානය ‍ කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

නාවික හමුදාව විසින් වෙරළ තීරයන්හි සුන්දරත්වය පවත්වාගෙන යාමට සක්‍රිය දායකත්වය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන අතර, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදුකරන ලදි. මෙහිදී, උතුරු නාවික විධානය මගින් කන්කසන්තුරය වරාය ආශ්‍රිත වෙරළ තීරය, කැසුරිනා වෙරළ තීරය, මාන්කුම්බාන් වෙරළ තීරය, මණ්ඩතිව් වෙරළ තීරය, වල්ලන් වෙරළ තීරය, මාවලි වෙරළ තීරය, සම්බිල්තුරයි සහ වෙත්තලකේණි යන වෙරළ තීරයන් ද දකුණු නාවික විධානය මගින් ශ්‍රීලංනානෞ දක්ෂිණ ආයතනය අසල සිට ගාල්ල නගරය දෙසට වෙරළ තිරය හා තංගල්ල පරෙයිවැල්ල වෙරළ තීරය ද පිරිසිදු කිරීම සිදු කරන ලදි. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ සහ දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන් සඳහා එම නාවික විධානයන්ට අයත් ආයතනයන්හි නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.

නොසැලකිලිමත් ලෙස අපද්‍රව්‍ය මුහුදට මුදා හරින සීමිත පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් අපවිත්‍ර වන සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව විසින් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.


උතුරු නාවික විධාන‍යේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


දකුණු නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන