කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් සුවය ලබයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අවසාන නාවික හමුදා පුද්ගලයින් තිදෙනා (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 20 වන දින ඉරණවිල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කිරීමත් සමග කොවිඩ් 19 වෛරසය නාවික හමුදාව තුළින් අවසන් වෙයි.

පසුගිය අප්‍රේල් මස 22 දින වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි සිදු කරන ලද නාවික හමුදා සමාජිකයෙකු හට කොවිඩ් 19 වෛරසය මුල්වරට ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන් හුදෙකලා කර අදාල නාවික හමුදා සාමාජිකයාගේ ආශ්‍රිතයින් සියළු දෙනා පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන ලද අතර, ඒ අනුව අවසන් කොව්ඩ් 19 ආසාධිත නාවික පුද්ගලයා 2020 ජුලි මස 08 වන දින හමුවීමත් සමඟ නාවික හමුදා පුද්ගලයින් 906 දෙනෙකුට අදාල වෛරසය ආසාධනය වී ඇති බවට වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමට හැකි විය. පසුව අදාල නාවික හමුදා සාමාජිකයින් සියළු දෙනාම ප්‍රථිකාර සඳහා නාවික මහරෝහල, වැලිකන්ද රෝහල, අයිඩීඑච් රෝහල, මිනුවන්ගොඩ රෝහල, තෙල්දෙණිය රෝහල, හෝමාගම රෝහල සහ ඉරණවිල රෝහල යන රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කරන ලද අතර, එලෙස ප්‍රථිකාර ලැබූ නාවික හමුදා පුද්ගලයින් රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටින අතරතුර සිදු කල පීසීආර් පරීක්‍ෂණවලදී අදාල වෛරසය තවදුරටත් ඔවුන්ගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම හේතුවෙන් රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කරන ලදි. ඒ අනුව මේ වන විට වෛරසය ආසාධනයවී රෝහල්ගතව ප්‍රථිකාර ලැබූ සියළුම නාවික හමුදා පුද්ගලයින් අදාල රෝහල් වෙතින් පිටව ගොස් අවසන්ව ඇත.

මේ වන විට නාවික හමුදා සාමාජිකයින් සඳහා පීසීආර් පරීක්‍ෂණ 15598 ක් සිදු කර ඇති අතර, කඳවුරු තුල අහඹු ලෙස පීසීආර් පරීක්‍ෂණ තවදුරටත් සිදු කරනු ලබයි. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් අනුගමනය කරමින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු මේ වන විට සිදු කරමින් සිටින අතර, කඳවුරු පරිශ්‍රයන් වෙත වෛරසය ඇතුළුවීම පාලනය කිරීම සඳහා පුද්ගල දුරස්ථ භාවය ආරක්‍ෂා කිරීම, දෑත් සේදීම, ශරීර උෂ්ණත්වය මැන බැලීම, මුහුණු ආවරණ පැළදීම යන කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ වෙතින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රියාමාර්ග තවදුරටත් අනුගමනය කරනු ලබයි.

තවද කොව්ඩ් 19 ආසාධිතව සිට සුවය ලබා ඉරණවිල රෝහල වෙතින් පිටව යන ලද අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනාද (03) සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14 ක් නිවාස තුල ස්වයං නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරියේදීද රටතුල වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගනිමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය නිසි ලෙස ඉටු කිරීමට ක්‍රියා කරනු ලබයි.