නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න අද (2020 ජුලි 21) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් හමුවිය. එහිදී, ගුවන් හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලද අතර, නාවික හමුදා සාගරික ආවේක්‍ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහය නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී. එම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටින ලද අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.