අභිනව නාවික හමුදාධිපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහානාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින අස්ගිරි මහා නායක හිමියන් බැහැදැක මහනුවර, අස්ගිරි මහා විහාරයේදී ආශිර්වාද ලබා ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළු‍ගේතැන්න මැතිණියද සහභාගීවී සිටින ලදි.

එහිදී නාවික හමුදාව රටේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදු කරනු ලබන කටයුතු ඉදිරියටත් සාර්ථකව සිදු කිරීමට අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද මාහිමිපානන් ආශිර්වාද කරන ලදි. තවද, මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නාවික හමුදාව සිදු කරන දායකත්වය ඇගයීමට ලක් කල උන් වහන්සේ, රටේ දරු පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම සඳහා රජය විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙළට සහයෝගය ලබා දෙමින් මත් උවදුර රටින් තුරන් කිරීම සඳහා සිදු කරන ඉදිරි නාවික හමුදා මෙහෙයුම් සාර්ථක කර ගැනීම සඳහා අශිර්වාද ලබා දෙන ලදි.

අනතුරුව අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමිපානන් වහන්සේ බැහැ දැකීමටද නාවික හමුදාධිපති තුමන් කටයුතු කල අතර, එහිදී උන් වහන්සේ විසින් නාවික හමුදාව ‍ඓතිහාසික අස්ගිරිය ගෙඩිගේ විහාරයේ ඉපැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් සහ ඉදිරියටත් එහි සංවර්ධන කටයුතු නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු කිරීමට නාවික හමුදාධිපති තුමන් කටයුතු කිරීම සම්බන්ධයෙන් කෘතවේදීත්වය පලකරන ලදි.