ප්‍රංශය, බංගලාදේශ සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත් යුද නෞකාවන් කොළඹ සහ හම්බන්තොට වරායන්ට සේන්දු වෙයි

ප්‍රංශය, බංගලාදේශය සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත්, යුද නෞකා 04ක්, 2022 මාර්තු 08 සහ 09 යන දිනයන්හි දී නිළ සංචාර සඳහා කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ප්‍රංශ නාවික හමුදාවට අයත්, සැපයුම් සහ සහායක යුද නෞකාවක් වන ‘Loire’ යුද නෞකාව 2022 මාර්තු මස 08 වන දිනත්, බංගලාදේශ නාවික හමුදාවට අයත් Corvette වර්ගයේ යුද නෞකාවක් වන ‘Prottasha’ යුද නෞකාව 2022 මාර්තු මස 09 දිනත් කොළඹ වරායට සේන්දු විය. තවද, ඉන්දියානු නාවික හමුදාවට අයත් Frigate වර්ගයේ යුද නෞකාවන් වන ‘Talwar’ නෞකාව සහ ‘Brahmaputra’ නෞකාවන් ද 2022 මාර්තු මස 09 දින හම්බන්තොට වරායට සේන්දු විය.

කොළඹ වරායට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Prottasha’ යුද නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Mohammad Golam Kibria සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධාන‍යේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අතර හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, හම්බන්තොට වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘Talwar’ සහ ‘Brahmaputra’ යුද නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් Partha U Bhatt සහ කපිතාන් Venkatesh R Iyer යන නිලධාරීන් සහ දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සජිත් ගමගේ අතර හමුවක් දකුණු නාවික විධාන මූලස්ථානයේ දී සිදු කෙරිණි.

මෙලෙස, දිවයිනට සේන්දු වූ ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Loire’ යුද නෞකාව මෙන්ම ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘Talwar’ සහ ‘Brahmaputra’ යුද නෞකාවන් මෙම නිල සංචාර තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන සුහද නාවික අභ්‍යාසයන් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

මෙම යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇති අතර, නිල සංචාරයන් නිමා කරමින් ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Loire’ යුද නෞකාව 2022 මාර්තු 12 වන දිනත්, බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘Prottasha’ යුද නෞකාව සහ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘Talwar’ සහ ‘Brahmaputra’ නෞකාවන් 2022 මාර්තු 11 වන දිනත් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.