නාවික හමුදා මුලස්ථානයේදී පැවැත් වු “Sea Vision” පුහුණු පාඨමාලාවෙහි අදියර තුනක් සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන “Sea Vision” පුහුණු පාඨමාලාවෙහි අදියර හතරකින් යුතු පුහුණු වැඩසටහනේ තෙවන අදියර (විධායක පාඨමාලාව) අද (2022 ජුනි 29) දින නාවික හමුදා මුලස්ථානයේදි සාර්ථකව නිමාවට පත්විය.

“Sea Vision” යනු සමුද්‍රීය මෙහෙයුම් වැඩිදියුණූ කිරීම, සමුද්‍රීය ආරක්‍ෂාව වර්ධනය කිරීම සහ සමුද්‍රීය ප්‍රජාව අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුළුල් වපසරියක සමුද්‍රීය තොරතුරු නිරීක්‍ෂණය සහ බෙදා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ජාල ගත මෙවලමකි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෙළඳ නාවික ලේකම් කාර්යාලය සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා යන ආයතන නියෝජනය කරමින් මෙම පුහුණු පාඨමාලාව සඳහා පුද්ගලයන් සහභාගී වූ අතර, අදියර හතරක් යටතේ පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවේ තෙවන අදියර මෙලෙස අද (2022 ජුනි 29) දින සාර්ථකව නිමාවට පත්විය. මෙම පුහුණු වැඩසටහනෙහි ක්‍රියාකරුවන් සඳහා වූ පාඨමාලාව 2022 අප්‍රේල් මස 20 වන දින සිට 24 වන දින දක්වාද, ක්‍රියාකරුවන් සඳහා විශ්ලේෂක පාඨමාලාව 2022 ජුනි මස 20 වන දින සිට 24 වන දින දක්වාද, තීරණ ගන්නන් සඳහා වූ විධායක පාඨමාලාව 2022 ජුනි මස 27 වන දින සිට 29 වන දින දක්වාද පවත්වන ලද අතර, මෙහි සිව්වන අදියර යටතේ පැවැත්වෙන පුහුණුකරුවන් පුහුණූ කිරිමේ වැඩසටහන 2022 ජුලි මාසයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

තවද, මෙම පුහුණු පාඨමාලාවේ උපදේශකයන් ලෙස ඇමෙරිකානු තාක්‍ෂණික ක්‍ෂේත්‍ර කණ්ඩායමක් විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලද අතර, පාඨමාලාව සඳහා සහභාගී වූවන්හට සහතික පත්‍ර ප්‍රදානයද සිදුකෙරිණි.