ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර (විශ්‍රාමික) දැයෙන් සමු ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දොළොස්වන (12) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර (විශ්‍රාමික), 2022 දෙසැම්බර් මස 23 වන දින දැයෙන් සමු ගන්නා ලදී.

1971 වර්ෂයේ ජූනි මස 23 වන දින ඉඳුරාම බඳවාගත් උප ලුතිනන් වරයෙක් ලෙස රාජකීය ලංකා නාවික හමුදාවට එක්ව ඇති අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර (විශ්‍රාමික), 1992 නොවැම්බර් මස 16 වන දින සිට 1997 ජනවාරි මස 27 දින දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දොළොස්වන (12) නාවික හමුදාධිපති ලෙස කටයුතු කර ඇත. ඔහු රාජකීය ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ සිදුකල විශිෂ්ඨ සේවය ඇගයීම වෙනුවෙන්, විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ඇතුළු සේවා පදක්කම් වලින් පිදුම් ලබා ඇති දක්ෂ නිලධාරියෙකි.

1948 වර්ෂයේ දී උපත ලබා ඇති දැයෙන් සමුගත් අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2022 දෙසැම්බර් මස 30 වන දින බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කිරීමට නියමිතව ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ නාවික හමුදා ගෞරව හා උත්තමාචාර සහිතව 2022 දෙසැම්බර් මස 31 වන දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.