ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජනවාරි 15) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ Destroyer වර්ගයේ යුද නෞකාවක් වන ‘INS DELHI’, දිගින් මීටර් 163.2 ක් හා නැව් මුළුව 390 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් ෂිරාස් හුසේන් අසාද් (Captain Shiraz Husain Azad) කටයුතු කරනු ලබයි.

‘INS DELHI’ නෞකාවේ අණදෙන නිලධාරී සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර අතර නිල හමුවක් 2023 ජනවාරි මස 16 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇත. තවද, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය හා දැනුම වර්ධනය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට මෙන්ම, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දර්ශණීය ස්ථාන නැරඹීමට නියමිතව ඇති අතර, මෙරට නාවික හමුදා පුද්ගලයන් නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිලිබඳ පුහුණු නිරීක්ෂණ සංචාරයකද නිරතවීමට නියමිතව ඇත.

‘INS DELHI’ නෞකාව සිය නිල සංචාරය නිමාකරමින් 2023 ජනවාරි මස 17 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.