නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 16 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණ පරිශ්‍රයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන නාවික හමුදා සමාජ සත්කාර වැඩසටහන් යටතේ, නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ අධීක්‍ෂණය යටතේ, මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීමේ අරමුණෙන්, එම රෝහලේ ඉල්ලීමකට අනුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි.

තවද, 2021 සහ 2022 යන වර්ෂ තුලදී නැ‍ගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන් මඟින් රුධිර ඒකක 1500 කට අධික ප්‍රමාණයක් ත්‍රිකුණාමලය හා මඩකලපුව ලේ බැංකු වෙත ලබා දී ඇත.

මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේ සියළුම නෞකා සහ ආයතනයන්ගේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.