රියදුරු පුහුණු සමආකෘතියක් වැලිසර ස්ථාපනය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රවාහන සහායක නාවිකයින්ගේ රියදුරු පුහුණුව වෙනුවෙන් වැලිසර නාවික හමුදා රියදුරු පුහුණු පාස‍ලේ අභිනවයෙන් ස්ථාපනය කල රියදුරු පුහුණු සමආකෘතිය 2023 ජනවාරි මස 27 වන දින නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මහජන මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කරමින් වියදම් අවම කිරීමේ, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රතිපත්තියට අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ගේ අධීක්‍ෂණය හා මඟපෙන්වීම යටතේ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයට අයත් නාවික රියදුරු පුහුණු පාසල තුල මෙම රියදුරු පුහුණු සමආකෘතිය ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි.

තවද, සැහැල්ලු වාහන හා බර වාහන රියදුරු පුහුණුවට අදාල ජාතික වෘත්තීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවන් සඳහා අවශ්‍ය අමතර ප්‍රායෝගික පුහුණුව, මෙම රියදුරු පුහුණු සමආකෘතිය මඟින් ලබාදීමට නියමිතව ඇති අතර, එමඟින් වාර්ෂිකව රියදුරු පුහුණූ කටයුතු වෙනුවෙන් වැයවන ඉන්ධන වියදම 30% ක පමණ ප්‍රමාණයකින් අවම කරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම රියදුරු පුහුණු සමආකෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් මහින්ද මහවත්ත, බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.