'ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් දකුණු නාවික විධාන රෝහල මඟින් අක්ෂි සායනයක් පවත්වයි

මාර්තු මස 12 වන දිනට යෙදී තිබූ ‘ලෝක ග්ලුකෝමා දිනය’ වෙනුවෙන් දකුණු නාවික විධාන රෝහල, කරාපිටිය අක්ෂි වෛද්‍ය විද්‍යාලය සමඟ එක්ව නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සඳහා ග්ලුකෝමා සායනයක් 2023 මාර්තු මස 17 වන දින දකුණු නාවික විධාන රෝහලේදී පවත්වන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟ පෙන්වීම මත දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙ‍රේරා ගේ අධීක්‍ෂණය යටතේ, කරාපිටිය අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව දකුණු නාවික විධාන රෝහලේදී මෙම ග්ලුකෝමා සායනය පැවැත්වූ අතර, එමඟින් නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 218 ක් පරීක්ෂාවට ලක් කිරීමත්,විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීමත් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජයන්ත බණ්ඩාර, දකුණු නාවික විධාන වෛද්‍ය නිලධාරී කොමාණ්ඩර් එස්පීඑස් ජයසුමන ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.