නාවික විදුලි හා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සහ තාක්‍ෂණ විද්‍යුත් සඟරාවෙහි අප්‍රේල් කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන පර්යේෂණාත්මක ක්‍රියාකාරකම් එළිදැක්වීම හා නාවික හමුදා ඉංජිනේරු නිලධාරීන්‍ ගේ හා තාක්‍ෂණික ශිල්පීන්ගේ තාක්‍ෂණික විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් එළිදක්වනු ලබන ‘Naval Electrical and Electronic Engineering & Technology (NEET)’ විද්‍යුත් සඟරාවේ 2023 අප්‍රේල් මස කලාපය 2023 මැයි මස 23 වන දින අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම නාවික හමුදා මූලස්ථානයේදි සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මකභාව‍යෙන් ඉහළ පර්යේෂණාත්මක නිබන්ඳනයන් මෙම විද්‍යුත් සඟරාව වෙත ඇතුලත් කර ඇති අතර, විදුලි හා විද්‍යුත් විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධ සංග්‍රහයන්හි සහ සමුළුවන්හි ප්‍රකාශයට පත්කර ඇති නිසිලෙස සමාලෝචිත හරවත් පර්යේෂණාත්මක නිබන්ධන එකතුවකින් මෙවර කලාපය සමන්විත වේ.

මෙම විද්‍යුත් සඟරාව නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමෙන්තුවේ www.dgl.navy.lk වෙබ් අඩවිය ඔස්සේ කියවීමේ හා භාගත කිරීමේ හැකියාව ඇත.

තවද, මෙම විද්‍යුත් සඟරාව එළිදැක්වීමේ අවස්ථාව සඳහා නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටිහ.