නාවික හමුදාව මඟින් මුලතිව් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සාර්ථකව පවත්වයි

මුලතිව් ප්‍රදේශයේ ධීවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කළ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2023 මැයි මස 25 වන දින නැගෙනහිර නාවික විධානයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේදී පැවැත්විණි.

මුලතිව් ප්‍රදේශයේ ධීවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා එම ප්‍රදේශයේ ධීවර සමිති මඟින් සිදුකල ඉල්ලීමකට අනුව සංවිධානය කල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහ ප්‍රදේශයේ ධීවර සමිති නියෝජනය කරමින් එම ධීවර සමිති සභාපතිවරුන් 28 දෙනෙකු සහභාගී විය.

මෙහිදී විදේශීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකිරීම සහ මෙරට ධීවර ප්‍රජාව විසින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මුලතිව් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව විසින් මතුකළ ගැටළු පුළුල් ලෙස සාකච්ඡා කල අතර, නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළරාක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන කාර්යයභාරය සම්බන්ධයෙන් එහිදී ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදුකෙරිණි.