ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සුවිශේෂී කාර්යය භාරය වෙනුවෙන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීම උදෙසා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම 2023 අගෝස්තු මස 18 වන දින, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉතාමත් අභිමානවත්ව සිදුකෙරිණි.

ප්‍රථම වරට මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥාපනත යටතේ සිදුවී ඇත. එලෙස 1939 වර්ෂයේ ජනවාරි මස 11 වන දින රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ආරම්භ වූ නාවික හමුදාව, පසුකාලීනව රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවය බවට පත්ව ඇති ඇති අතර, 1950 අංක 34 දරන නාවික හමුදා පනත මඟින් එවකට රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවයේ, සක්‍රීය සේවයේ නියුතුව සිටි නිලධාරීන් සහ නාවිකයන් ගෙන් සමන්විතව ‘රාජකීය ලංකා නාවික හමුදාව’ 1950 දෙසැම්බර් මස 09 දින ආර්මභ වීම මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය ලෙස සැලකේ. එලෙස රාජකීය ලංකා නාවික හමුදාව ස්ථාපිත කිරීමට සමඟාමීව ඒ වනවිට රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවයේ සක්‍රීය සේවයේ නොසිටි නිලධාරීන් සහ නාවිකයන්ගෙන් ‘රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ’ ආරම්භය සිදුවී ඇති අතර, ‘රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව’, 1972 වසරේ දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ ‘ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව’ ලෙස පරිවර්තනය වී ඇත.

ඒ අනුව, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව, වෘත්තීය සහ තාක්‍ෂණික කුසලතාවයන්ගෙන් පරිපූර්ණ බල මුළුවක් ලෙස එහි ආරම්භයේ සිට ජාතික ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ඨ හා අඛණ්ඩ දායකත්වය ඇගයීම උදෙසා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙලෙස 2023 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම, හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

වර්ණ ධජ පිරිනැමීමේ සංකල්පය 16 වන ශතවර්ෂය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇති සම්ප්‍රදායකි. අතීයේ පැවති විවිධ සංග්‍රාමික අවස්ථාවන් හිදී මිත්‍ර පාර්ශවයේ හමුදා සාමාජිකයන් සංග්‍රාම භූමියේ අතරමන් නොවී එක් ස්ථානයකට රැස්කිරීම සඳහා නියමිත වර්ණයකින් සලකුණු කරන ලද ධජයක් භාවිතා කිරීමෙන් මෙම වර්ණ ධජ සංකල්පය ආරම්භවී ඇති අතර, එතැන් සිට හමුදාමය චාරිත්‍රයක් ලෙස එය අඛණ්ඩව පවත්වාගෙන පැමිණ ඇත. කාලීනව වෙනස්වෙමින් විකාශය වී ඇති වර්ණ ධජ පිරිනැමීම, අද වන විට යම්කිසි රාජ්‍යයක අභිවෘද්ධිය වෙනුවෙන් එම රටේ හමුදාවක් හෝ එහි රෙජිමේන්තුවක් හෝ අංශයක් විසින් සිදුකල හෝ සිදුකරනු ලබන විශිෂ්ඨ හා අඛණ්ඩ දායකත්වය ඇගයීම සනිටුහන් කිරීම වෙනුවෙන් මෙලෙස ජනාධිපති වර්ණ පිරිනැමීම සිදුකරනු ලබයි.

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත ප්‍රථම වරට එලෙස රාජකීය වර්ණ පිරිනැමීම පස්වන (V ) ජෝජ් රජු විසින් අනුමත කිරීමෙන් පසු 1924 වර්ෂයේ සිදුකර ඇති අතර, එහිදී රාජකීය නාවික හමුදා ධජය තුල රාජකීය ඔටුන්න සහිත රාජකීය ලාංඡනයෙන් සමන්විත ධජය රාජකීය වර්ණ ලෙස පිරිනමා ඇත.

දේශයේ සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම උදෙසා ස්ථායි සාගර කලාපයක් නිර්මාණය කරදීමේ වගකීම ඉටුකිරීම වෙනුවෙන් සිදුකල විශිෂ්ඨ දායකත්වය අගයමින්, මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එහි විධාන බලඝන සහ නාවික හා සාගරික විද්‍යා පීඨය අවස්ථා 06 කදී ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබා ඇත. ඒ අනුව, 1975 වර්ෂයේ දෙසැම්බර් මස 09 දින ශ්‍රී ලංකා නාවික හමුදාව, 2003 වර්ෂයේ දෙසැම්බර් මස 13 දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය, 2010 වර්ෂයේ දෙසැම්බර් මස 09 දින උතුරු නාවික විධානය, නැගෙනහිර නාවික විධානය හා දියත් විධානය, සහ 2019 වර්ෂයේ ජූනි මස 22 වන දින හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය එලෙස මීට පෙර ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබා ඇත.

මෙම අයිතිහාසික අවස්තාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමදෝරු එන්පීජීඑන් වසන්ත ගේ ආරාධනයෙන් ගරුතර මහා සංඝරත්නය වැඩමවා වදාළ අතර, අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා මෙන්ම සම්භාවනීය ආරාධිතයන් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ගරු ආචාර්යය විලී ගමගේ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), අතිරේක ලේඛම් (ආරක්‍ෂක) ධම්මිකා විජයසිංහ මහත්මිය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් ද, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ඇතුළු විධාන ආඥාපතිවරුන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු ආඥාපතිවරුන්, ධජ නිලධාරීන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගරු ජනාධිපති තුමා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, නාවික හමුදාධිපති විසින් ගරු ජනාධිපති තුමා වෙත සමරු තිළිණයක් ලබාදීම ද සිදුකෙරිණි.