බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා වැඩ භාර ගනී

බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් සමන් පෙරේරා අද දින (2023 සැප්තැම්බර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව බටහිර නාවික විධානය වෙත රියර් අද්මිරාල් සමන් පෙරේරා පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, බටහිර නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව බටහිර නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරුණු අතර, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඉදිරියේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතව ඇත.