විෂ හා අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි

රට තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධ විශේෂ රැස්වීමක් විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 01 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ පාර්ශ්වකරුවන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ රැස්වීමේදී, රට තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

තවද, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් ගතයුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (බෝ නොවන රෝග), වෛද්‍ය එස්සී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම රැස්වීමේදී ඉදිරිපත් කිරීමක් මඟින් අදහස් දැක්වූ අතර, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් ගතයුතු පියවර සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ විමර්ශන, එම්ජීඑන් ජයකොඩි මහතා විසින් ඉදිරිපත් කිරීමක් මඟින් අදහස් දැක්වීම සිදුකෙරිණි. එමෙන්ම, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කාන්තාව බලගැන්වීම මඟින් ලැබෙන ප්‍රථිලාබ පිළිබඳ නාවික හමුදාධිපති ගේ පෞද්ගලික ලේකම් සහ අධි සහායක, කොමාණ්ඩර් ප්‍රියදර්ශන උඩකුඹුර විසින්ද එහිදී ඉදිරිපත් කිරීමක් සිදුකෙරිණි.

මෙරටින් මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා කටයුතු කරනු ලබන සියළුම පාර්ශ්වකරුවන් හා එක්ව, රට තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සහ විශේෂයෙන් පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය ප්‍රචලිතවීම වැළැක්වීම සඳහා වන කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීම මඟින් අපේක්‍ෂා කර ඇත.