ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 82 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් අසූ දෙදෙනෙකු (82) සාගරයට මුදා හැරීම, 2024 අප්‍රේල් මස 16 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග ගේ සහභාගීත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.

වඳවී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කර සාගර පරිසර පද්ධතියේ ‍ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යනු ලබන අතර, එමඟින් කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර ඉන් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීම සිදු කෙරේ. මේ වන විට නාවික හමුදාව විසින් පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ කලාපය ආවරණය වන පරිදි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය තුල පවත්වා ගෙන යනු ලබන කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර මඟින් බිහිවූ කැස්බෑ පැටවුන් අසූ දෙදෙනෙකු (82) සාගරයට මුදාහැරීම, 2024 අප්‍රේල් මස 16 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති ගේ සහභාගීත්වයෙන් මෙලෙස සිදුකෙරිණි.